ලෝකයේ බොහෝ ශිෂ්ඨාචාරයන් බිහි වි තිබෙන්නේ ගංගා නිම්න ඇසුරේය. ලෝක ඉතිහාසය පිළිබඳව කතා කරන විට මානවයා ශිෂ්ඨාචාරගත වීමත් සමාජ සංස්කෘතිකාංග ඇතුළු කරගත් ජීවෝනෝපායන් බිහිවි ඇත්තේ ගංගා නිම්න ඇසුරු කර ගනිමින්ය. කෘෂිකර්මාන්තය, වෙළඳාම, ප්‍රවාහනය ආදි සියළු කටයුතු ගංගා නිම්නයේ බිහිව ක්‍රමයෙන් විකාශනය වෙමින් ලෝක ඉත්හාසය පුරාවටම මානව සමාජය පරිනාමය වෙමින් ආ බව පැහැදිලිව පෙනෙන සාධකයකි.
නයිල් නදි නිම්නයේ මහ පිරමීඩ බිහි කළ මිසර ශිෂ්ඨාචාරයත්, යුප්‍රටීස්- ට්‍රයිග්‍රිස් ගංගා නිම්නයේ මෙසපොතෙමියානු සභ්‍යත්වයත්, ඉන්දු ගංගා නිම්නයේ මොහෙන්ජදාරෝ හරප්පා මහා වෙළද නගර බිහි වු හරප්පා සභ්‍යත්වයත්, හොවැංහෝ නිම්නයේ චීන ශිෂ්ඨාචාරයත් බිහි විමෙන් ගංගා නිම්න පදනම් කරගත් මානව සමාජය ශිෂ්ඨාචාරගත වු බවයි. එසේම සමාජ, සංස්කෘතික මෙන්ම දේශපාලන බලයද ගංගා නිම්න පදනම් කර ගනිමින් ලෝක ඉතිහාසය තුළ වර්ධනය වි තිබේ.
ලෝක ඉතිහාසය තුල දේශපාලන ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් හදබිම් සංකල්පය (Heartland theory) පිළිබඳව Sir Halford Mackinder විසින් 1904 වර්ෂයේදී The Geographical Pivot of History කෘතියෙන් අදහස් දක්වන ලදි. එහිදි ඔහු ලෝකයේ බලවන්ත බව රඳා පවත්වා ගත හැකි භූමිය පිළිබඳ අදහස ඉදිරිපත් කළේය. එහිදී ඔහු පැහැදිලි කරනුයේ මානව හදබිම් කලාප බොහෝ විට බිහි වන්නේ ප්‍රධාන ගංගා නිම්න ආශ්‍රිතව බවයි. පෙර සඳහන් කළ ශිෂ්ඨාචාර සමගින් මෙම සංකල්පය වඩාත් පැහැදිලි කර ගත හැකි වේ.
මෙම න්‍යාය පදනම් කරගනිමින් මහාචාර්යය සි. එම් මද්දුමබන්ඩා මහතා ප්‍රකාශ කරනුයේ ලංකාවේ හදබිම වනාහි මහවැලි මිටියාවත විය යුතු බවයි. ( මහවැලි වංශය ) ශ්‍රි ලංකාවේ දිගම සහ විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් මධ්‍යම කදුකරයේ සිට ත්‍රිකුණාමලය දක්වා ගලා බසින මහවැලිය ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි.
මහවැලියේ ප්‍රධාන අතු ගංගාවන් වනුයේ
- කොත්මලේ ඔය
- හැටන් ඔය
- හුලු ගඟ
- ලොක්ගල් ඔය
- උමා ඔය
- බදුලු ඔය
- අඹන් ගඟ
මෙම ලිපියේ අරමුණ වන්නේ මහවැලිය පිළිබඳ සිංහල ගීත සාහිත්‍යයේ එන විශේෂ ගීත දෙකක් පිළිබද ඉදිරිපත් කිරිමයි. ඉන් පළමු ගීතය වන්නේ
අරිසෙන් අහුබුදු ශුරින් රචනා කරන ලද සුනිල් ශාන්තයන් විසින් සංගිතය සහ ගායනය කරන ලද වළාකුලින් බැස යන ගීතයයි. මේ ගිතය අදත් ගුවන් විදුලියේ අයිවෝ ඩෙනිස්ගේ හඩින් අසන්නට ලැබේ.
වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ
වළාකුලින් බැස සමන් කුළත් වැඳ...
දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...
එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා
වළාකුලින් බැස සමන් කුළත් වැඳ…
මේ ගිතයයේ කියවෙන්නේ සමනළ කන්දෙන් පැන නගින ගංගාවක් ගැනයි. පි. බි අල්විස් පෙරේරා මහතාගේ කවියක් තිබෙනවා
මහවැලි, කැළණි, කළු, වලවේ යන ගංගා
සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
බැවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයා මිණි කැට දිය යට හංගා
මෙම කවියේ පොදුවේ මෙම ගංගා සමනළ කන්ද මුදුනින් පැන නගිනවා බව දැක්වුවත් ලංකාවේ ⅓ ආවරණය කරමින් බැස යන මහවැලිය හොර්ටන්තැන්නේන් ආරම්ඹ වන බව අපි සැවෝම දන්නා කරුණකි. නමුත් බුදු රජානම් වහන්සේගේ සිරිපා පතුල පිහිටි සමන්කුළ වන්දනා කරමින් අහසින් බැස එන දිය කද යම් පූජනිය ගංගාවක් ලෙසට දැක්වීමට අහුබුදු ශුරින් උත්සහ දරා තිබේ. එසේම මහවැලි ව්‍යාපාරය, ගල්ඔය ව්‍යාපාරය පිළිබද අදහස් ඇති වු මුල් වකවානුවේ ලියවුනු ගීතයක් ලෙසින් දැක්විය හැකි වේ. අනේ මගෙනි වැඩ ගනිව් ගනිව් යනුවෙන් ගංගාව කැගසා කියන්නේ නිකරුනේ මුහුදට ගලා යන ජල කඳ මෙරට භූමිය පෝෂණය කරන්නට යොදාගන්න පුළුවන් බව මවා පාමින් ය.
එසේම එදා මහ වැව් තනා රට සරුසාර කරන ලද යුගය අහුබුදු ශුරින් මෙහිදි සදහන් කරන්නේ මෙලෙසින්ය ,`එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා, මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ,ලොවේ නමක් තැබුවා´යනුවෙන් ය. මහ සයුර පරදන වැව්, ඇල මාර්ග, එයින් පෝෂණය වුනු කුඩා වාපි සංස්කෘතිය, එල්ලංගා පද්ධතිය පිළිබදව සළකා බලන විට අතීතයේ සශ්‍රික අපේ රජරට රාජධානි පිළිබඳව සිතිමට නිතැතින්ම එම පද පෙලි කන වැකෙත්ම පෙළඹේ.
අහසින් වැටෙන එකදු දිය බිදුවකුත් ප්‍රයෝජනයට නෙගෙන මුහුදට නොයවනු යනුවෙන් මහ පැරකුම්බා රජුගේ ජනප්‍රිය කියමන සිහි ගන්වමින් මෙම ගීතයේ අවසන් පද පෙලි ලියවි තිබේ.
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
තමුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා
එම ගීතයෙ සමස්ථ අර්ථය බලන විට පැහැදිලි වන්නේ මෙරට පුරාවටම ගලා යන ගංගාවන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා බැස යන බවයි.
මීලගට දෙවනි ගීතය දෙස බලන විට පළමුවෙන් සදහන් ගීතයට පිළිතුරක් ලෙසද රචනාකරන ලද්දක් ද ලෙසත් සැලකිය හැකි ද යන්නත් සිතිය හැකි ය. මෙම ගීතයද අරිසෙන් අහුබුදු ශුරින් විසින්ම රචනා කරන ලද අතර සංගීතය සහ ගායනය සුනිල් ශාන්තයන් විසින්ම ය.
එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ
කන්ද කපවු
ගල් පෙරළවු
වේලි බඳිවු
ගමන බිඳිවු
ගංගාවේ
ගංගාවේ
දිය අරවව්
වැව් පුරවව්
කෙත් කරවව්
කුස පුරවව්
ගංගාවේ
ගංගාවේ
එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ
හිටු එම්බා
ගඟ පුම්බා
දිය ලම්බා
පැරකුම්බා
ගංගාවේ
ගංගාවේ
වැඩට අපේ
දිය නො මැ දී
මුහුද කරා
යනු වැරදී
ගංගාවේ
ගංගාවේ
එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ
මෙම ගීතය මහවැලි ව්‍යාපාරය සමගින් ඇරඹි මහ පෙරලිය ගොවි ජනපද ව්‍යාපාරය, පිළිබදව කියවේ. මෙම ගීතයේ මුල් පද පේලි ඇසෙන විට මහවැලිය හරවා සිදු කළ මහ විප්ලවය සිහි වේ.
එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ
කන්ද කපවු
ගල් පෙරළවු
වේලි බඳිවු
ගමන බිඳිවු
ගංගාවේ
ගංගාවේ
දිය අරවව්
වැව් පුරවව්
කෙත් කරවව්
කුස පුරවව්
ගංගාවේ
ගංගාවේ
එම්බා මහවැලිය නවතිනු……
මහවැලි ජලය වන්නි දිස්ත්‍රික්කයට ගෙන යාම ගැනත් අවධානය ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යන මහත්වරු සහ තවත් අය මහවැලි ගඟ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපාර ගැන අවධානය යොමු කළහ.
මහවැලි ගඟ උතුරට හැරවීම ගැන පුළුල් සමීක්ෂණ ඇරඹුනේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 1950 ගණන් වල සිටයි. දිවයිනේ ජල සම්පත් සමීක්ෂණය වෙනුවෙන් කොළඹ ක්‍රමය යටතේ පසුව කැනඩා රජයේ ආධාර හිමිවිය. 1958 දී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගත් ගිවිසුමක් අනූව, මහවැලි බහු කාර්ය ව්‍යාපාරයක් සඳහා සමීක්ෂණයක් ඇරඹුණි. 1965 එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම (UNDP), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කල සමීක්ෂණ මත 1969 දී මහවැලි මහ සැලැස්ම (MASTER PLAN) බිහි විය.
සංවර්ධන වැඩසටහනේ අරමුණු වුයේ
- නව ජනාවාස ඇතිකිරීම
- විදුලිබලය උත්පාදනය
- වී ගොවිතැන ප්‍රමුඛ කෘෂීකර්මය
- ගංවතුර පාලනය
මහවැලි ගඟත්, එහි අතු ගංඟාත් මාදුරුඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39% ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශ වල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රැකියා අවස්ථා ලබා දීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීනරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය.
වසර 30 ක් ඇතුළත මහවැලි මහ සැලැස්ම ක්‍රියාවට නැංවීම මුල් යුගයේ අපේක්ෂාව විය. අදියර 3 ක් යටතේ ප්‍රධාන ජලාශ විදුලි බලාගාර හා ජනාවාස කලාප සංවර්ධනය සඳහා සැලැස්මක් වූ අතර වාරිපෝෂිත ඉඩම් අක්කර 9,000,000 ක් සංවර්ධනය කිරීමද, මෙගාවොට් 808 ක ස්ථාපිත ධාරිතාවකින් යුතු විදුලි බලාගාර 14 ක් ඉදිකිරීමද වැඩ පිළිවෙලට අයත් විය.
1970 පෙබරවාරි 28 වන දින ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල ජලාශ ව්‍යාපාරයට මුල්ගල තබමින් මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මක කෙරීය. ඒ අනුව මහවැලිය මධ්‍යම කදුකරයේ මහනුවර සානුවේ පොල්ගොල්ලේදි උතුරට හැරි ගමන් කරන ලදි.
ඉන් අනතුරුව මහවැලි කඩිනම් ව්‍යාපාරය 1977 ඔක්තෝම්බර් 12 දි ආරම්භ කරන ලදි. මෙම කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ බලශක්ති සම්පාදනයට අනුබල දෙන ප්‍රධාන ජලාශ 4 ක් නිම කරන ලදි. වික්ටෝරියා ජලාශය, කොත්මලේ ජලාශය, මාදුරුඔය ජලාශය, හා රන්දෙණිගල ජලාශය එලෙස ඉදිවූ මහා ජලාශ හතරයි.
එලෙසින්ම මහවැලියේ අඹන්ගඟ, කළු ගඟ කේනද්‍ර කරගනිමින් අවසන් මහවැලි ජලාශ ලෙස මොරගහකන්ද - කළු ගඟ මහා ජලාශ දෙක ඉදි කරන ලදි.
මහවැලි පංච මහ ජලාශ ලෙසින් සඳහන් කළ ජලාශ 5 පොදුවේ හදුන්වනු ලැබේ.
ශ්‍රී ලංකාව සතු විශාලතම ස්වභාවික සම්පත් ජාලය අතර ප්‍රමුඛයා ලෙස මහවැලි ගංඟා දියෙන් පෝෂණය වන මහ ගොවි ජනපද බිහි වු කෘෂිකාර්මික සංස්කෘතියක් ඇති කිරීමත් සිදු විය. ඒ ඇසුරෙන් රටේ ගොවිතැන, විදුලිය, පානීය ජලය වැනි මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ කඩිනම් ඉලක්කගත වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මකය.
එසේම මෙම ගීතයේ කියවෙන
දිය අරවව්
වැව් පුරවව්
කෙත් කරවව්
කුස පුරවව්
ගංගාවේ
ගංගාවේ
යාථාර්ථයක් කරමින් ශ්‍රී ලංකාවේ භූමියෙන් තුනෙන් එකක් ආවරණය වන මහවැලි ගොවි ජනපදවල ජීවත්වන පවුල් ලක්ෂ තුනකට ආසන්න ගොවි ජනතාවගේත්, ලක්ෂ 10 කට අධික පිරිසගේත් ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා ඉලක්කගත වැඩපිළිවෙළ ගණනාවක් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවති.
එසේම මෙම ගීතයේ අවසන් පද පේලි යලිත් අපට සිහි ගන්වන්නේ මහ පැරකුම්බා රජුගේ ප්‍රකට කියමනයි. එය අහුබුදු ශුරින්ගේ පන්හිදින් ලියවුනේ මෙසේය.
වැඩට අපේ
දිය නො මැ දී
මුහුද කරා
යනු වැරදී
ගංගාවේ
ගංගාවේ
………………………..
ධනුෂ්ක කොඩිතුවක්කු
Dhanushka Kodituwakku
2020/04/09.
…...
Comments
Post a Comment