Skip to main content

රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ නිලමේවරයෙක් - අලුවිහාරේ රාළ

රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ නිලමේවරයෙක් - අලුවිහාරේ රාළ

මෙයට පෙර මෙම බ්ලොග් අඩවියේ ලිපියකින් දෙවන රාජසිංහ රජුට එරහිව නිල්ලඹදි ඇතිවු කැරැල්ලක් සහ එහි ප්‍රමුඛත්වය ගත් අඹන්වල රටේ රාළ ගැන සදහන් කරන ලදි. එම කැරැල්ලේ දි  රජුට පාක්ෂික නිලමේ වරයෙක් රජු වෙන්වෙන් ජීවිතය පූජා කළ අතර ඔහු නමින් අලුවිහාරේ රාළ යි.

අලුවිහාරේ යන නාමය අපට නුහුරු නාමයක් නොවේ. වලගම්බා රජ සමයේදි ත්‍රිපිටකය මාතලේ අලු ලෙනේ දි ග්‍රන්ථාරූඪ කළ බව වංස කථාවේ සදහන් වේ. එසේම ශ්‍රි ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ ද පාර්ලිමෙන්තුව නියෝජනය කළ සහ පළාත් මහ අමාත්‍යධුර දැරු අලුවිහාරේවරුන් පිළිබදවත් අසන්නට ලැබේ. ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රි ලාංකික පොලිස්පතිවරයා වූයේ ද අලුවිහාරේවරයෙකි. නමුත් මෙම ලිපිය මගින් මතු දැක්වු අලුවිහාරේවරුන් පිළිබදව නොව දෙවන රාජසිංහ රජු දවස උඩරට රජුනට රාජපාක්ෂිකභාවය නිසාම දිවි දුන් අලුවිහාර පරපුරේ ආදිතමයකු පිළිබදව වේ.
ඉගුරු දීලා මිරිස් ගත්තා වගෙයි යනුවෙන් ප්‍රස්ථාව පිරුළක් ව්‍යවහාරයට එක්වන්නේ දෙවන රාජසිංහ රජුගේ දවස තුලදී ය.

            II රාජසිංහ රජුගේ පෘතුගීසීන් පලවා හැරීමෙන් ජය ගැනීමෙන් අනතුරුව  කන්ද උඩරට හමුදාව ලන්දේසීන්ගේ ද සහාය ඇතිව පෘතුගීසී බලය මර්දනය කොට බලකොටු අල්ලාගත් නමුත් ගිවිසුම් ප්‍රකාරව අල්ලාගත් බලකොටු රජුට භාර නොදී තමන්ගේ භාරයේ පවත්වා ගැනීමට ලන්දේසීන් කටයුතු කළ අතර ඒ සහා 1638 ගිවිසුමේ වගන්ති උපායශීලීව ඔවුන් විසින් භාවිත කරන ලදී. අවසානයේදී පෘතුගීසීන් වෙනුවට ලන්දේසීන් වෙරළබඩ ප්‍රදේශවල බලය තහවුරු කරගැනීමට සමත් වීමත් සම`ග මේ සිදුවීම අළලා "ඉගුරු දී මිරිස්‌ ගත්තා වගෙයි" යන ප්‍රස්‌ථාව පිරුළක්‌ ඇතිවී එය රජුට අපකීර්තියක්‌ ගෙන දීමට හේතුවුණි.

රාසිං දෙවියන්ට විරුද්ධව උඩරට ප්‍රභූන්ගේ කැරුල්ල
දෙවන රාජසිංහ රජු හදුන්වානු ලැබු නාමයක් වන්නේ රාසිං දෙවියන් ( රාජසිංහ දෙවියන් ) යන අන්වර්ථ නාමයෙන් ය. ඉතින් 1664 දී රජුගේ අණින් වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර තහනම් කිරීම හේතුවෙන් රජු කෙරෙහි ඇතිවූ මහජන අප්‍රසාදයේ අවසන් ප්‍රතිඵලය වූයේ රජුට විරුද්ධව කැරැල්ලක්‌ පිළිබඳ රාවයක්‌ රට පුරා පැතිරයැමයි. වර්ෂ අවසාන දෙසැම්බර් මාසයේ දී ලංකාවට ඉහළ අහසේ වල්ගා තරුවක්‌ පෑයීමත් සමග කිසියම් අසුබ දෙයක්‌ සිදුවිය හැකි බවට මත පළවුණු අතර අඹන්වෙල රාළගේ නායකත්වයෙන් රජුට විරුද්ධ කැරැල්ලක්‌ ආරම්භ වූයේ එවන් පසුබිමක්‌ තුළ ය. කැරැල්ල සදහා ඒදඬුවාවේ, පැල්ලම්පිටිය සහ උඩබද්දාව යන රදළ නායකයන්ගේ දායකත්වය ද හිමිවුණු අතර ඔවුන්ගේ අපේක්‌ෂාව වී තිබුණේ එවකට නිල්ලඹේ නුවර රජවාසලේ වාසය කළ රජු මරා දමා රජුගේ පුත් කුමරු සිහසුනට පත් කිරීමයි.

රොබට් නොක්ස් විසින් මේ සිද්ධිය ගැන කියලා තිබ්බා.

ලංකා අහසේ පායා තිබූ වල්ගා තරුවේ වල්ගා කොණ දෙසැම්බර් 21 වැනි දින වන විට බටහිර ප්‍රදේශයට යොමුව තිබූ අතර එම ප්‍රදේශයෙන් රජුට එරෙහි කැරැල්ල ආරම්භ කෙරුණු බව එවකට උඩරට සිරකරුවෙක්‌ ලෙස රැදී සිටි ඉංග්‍රීසි ජාතික රොබට්‌ නොක්‌ස්‌ තම  An Historical Relation of the Island Ceylon කෘතියේ දක්‌වයි


කැරැල්ල දවසේ නිල්ලඹදි

            එදින මධ්‍යම රාත්‍රියේ නිල්ලඹේ නුවර රජවාසලට පහරදුන් කැරලිකරුවන් විසින් පිටත වාසළ අල්ලා ගත් අතර ඔවුන්ට එරෙහිව සටන් කළ සියලු දෙනා මරා දැමීමට ද කටයුතු කර තිබුණි. මෙනිසා බොහෝ රාජපුරුෂයන් දිවි ගලවා ගැනීමේ අරමුණින් කැරලිකරුවන් සමග එක්‌වීමත් සමග ඇතුල්වාසල රැදී හුන් රජුගේ ආරක්‌ෂාව ක්‍රමයෙන් හීනවෙමින් පැවතුණි. කෙසේ නමුත් පසුදා පහන් වනතුරු ඇතුල් වාසල අල්ලා ගැනීම ප්‍රමාද කිරීමට කැරලිකරුවන් ගෙන තිබූ තීරණය රජුගේ වාසියට හේතු වූ බව පෙනේ. 

රාසිං දෙවියන් මාළිගයෙන් පලා යයි. 

රජු කැරලිකරුවන් සමග සටන් කිරීම සදහා ප්‍රමාණවත් පිරිසක්‌ තමාට නොමැති හෙයින් ඒ අවස්‌ථාවේදී ගතහැකි ඥානාන්විත පියවර වන්නේ පලායැම බව වටහා ගත් රජු විසින් ඒ සඳහා කටයුතු සූදානම් කිරීමට නියෝග කරන ලදී. එහිදී රජුට ආරක්‌ෂිතව පලායැම සදහා කැරලිකරුවන් ප්‍රමාද කිරීම සදහා දුක්‌ගන්නාරාළ කෙනෙක්‌ වශයෙන් රජුට සේවය කළ අලුවිහාරේ වණිසේකර නම් මහලු මුදලිවරයා ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

කවුද මේ දුක්ගන්නා නිලමේ කියන්නේ.

රජු වෙනුවෙන් වෙහෙසෙන, දුක්‌ විඳින පුද්ගලයා යන අරුතෙන් දුක්‌ගන්නා රාළ නම් නිලය ඇතිවී තිබුණු අතර ඒ සදහා රජු වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට සූදානම්ව සිටින ඉතාම පක්‌ෂපාතී පුද්ගලයන් පත්කොට ගෙන තිබුණි. රාජ භෝජනය සඳහා පිළියෙල කරන ලද ආහාරපානවලට වස විෂ මිශ්‍රව ඇත්දැයි පරීක්‌ෂා කිරීම පවා සිදුකරන ලද දුක්‌ගන්නා රාළවරුන් රජුට ඉතා සමීප ස්‌ථාන වන මහ සැතපෙන ගෙය, අතපත්තු මඩුව සහ රන් ආවුද මඩුව යන ස්‌ථාන තුනට අනුයුක්‌තව රාජකාරි කටයුතු සිදු කර තිබේ. 



රජු වෙනුවෙන් දිවි දුන්න දුක්ගන්නා නිලමේ


            දුක්‌ගන්නා රාළවරයෙක්‌ වශයෙන් තම නිලයේ රාජකාරිය දිවි පුදා හෝ ඉටු කිරීමේ අපේක්‌ෂාවෙන් පසුවූ අලුවිහාරේ වණිසේකර රජුට සමාන රුවක්‌ තමන්ට තිබූ හෙයින් රාජාභරණවලින් සැරසී රජුගේ යහනේ සැතපී සිටීමට තීරණය කර තිබුණි. කැරලිකරුවන් විසින් ඔහු රජු යෑයි වටහාගෙන මරාදමන හෙයින් ඒ අතරතුර කාලයේදී රජුට නිරුපද්‍රිතව පලායැමට අවකාශ සැලසීම ඔහුගේ අපේක්‌ෂාව විය. මේ අතරවාරයේ තමාට විශ්වාසී පනස්‌ දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක ආරක්‌ෂාව යටතේ රජවාසල අසල තිබූ කන්දටත් අනතුරුව ගලඋඩ කන්ද නම් ආරක්‌ෂිත ස්‌ථානයේ පිහිටි බලකොටුවටත් පලාගිය රජු විසින් තම ආරක්‌ෂාව සලසා ගන්නා ලදී.


මරා දමන් ලද්දේ රජු නොවේ ද ?

            පසුදා උදෑසන ඇතුල් වාසලට පහර දී අල්ලාගත් කැරලිකරුවන් විසින් රජුගේ සිරියහන් ගබඩාවට ඇතුල් වී එහි සැතපී හුන් අලුවිහාරේ මුදලි මරා දැමූ අතර පහසුවෙන් රජු මරාදැමීමට හැකිවීම පිළිබඳ ප්‍රීතියෙන් පසුවන්නට වුණි. නමුත් රජු හා රූපයෙන් සමාන වූ අලුවිහාරේ වණිසේකර මුදලි ඇතුල් වාසළ තුළ නොසිටි බව ඇරැව්වාවල දිසාවේ හට සිහිපත් වීමත් සමග වහාම රජුගේ යෑයි ඔවුන් විශ්වාස කළ මෘත ශරීරය පරීක්‌ෂා කර බැලීමට කැරැලිකරුවෝ පෙළඹුණහ. රජු තරුණ වියේ පසුවීම සහ අලුවිහාරේ මුදලි මහලු වියේ පසුවීම දෙදෙනා අතර වෙනස හදුනා ගැනීමට පහසුවක්‌ වන හෙයින් කැරලිකරුවන් අතර හුන් කුරුවිට රාළ නම් තැනැත්තා මෘත දේහයේ මුඛයට අත දමා දත් ඇත්දැයි පරීක්‌ෂා කර බැලීමේදී දත් නොමැති බව වටහා ගත්තේ ය. මේ සමඟම තමන් විසින් මරණයට පත්කර ඇත්තේ අලුවිහාරේ මුදලි බවත්, රජු තවමත් ජීවතුන් අතර බවත් වටහා ගත් කැරලිකරුවන් විසින් අතිශය භීතියට පත්වූ අතර වහාම තම සැලසුමේ ඉතිරි කොටස සපුරා ගැනීම සදහා කන්දේ නුවර බලා පිටත් වන ලදී. 



පුත් කුමරුන් රජකමට කැමති වෙයි ද?

රජුගේ සොයුරිය භාරයේ එහි වාසය කළ රජුගේ පුත් කුමරු බැහැදුටු කැරලිකරුවන් විසින් රාජ්‍යය භාරගන්නා ලෙස කුමරුගෙන් ආයාචනය කළ ද රජ කුමරු විසින් ඒ පිළිබද නිහඬව නොසතුට පළකරන ලදී. පසුව රජ කුමරු රැගෙන රජු වෙත රජුගේ සොයුරිය පලා ඒමත් සමඟ තමන් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වූ බව පිළිගැනීමට කැරලිකරුවන්ට සිදුවිණි. වහාම තමන් කොල්ලකා ගත් වස්‌තුව ජනතාව අතර බෙදා දී සැගවී යැමට කැරලිකරුවන් කටයුතු කළ ද ඔවුනොවුන් අතර වූ මතභේද හමුවේ එකිනෙකා ඝාතනය කරන තත්ත්වයකට ඔවුන් පත්ව තිබුණි. 

රජු නැවතත් මහනුවරට පැමිණෙයි 


ඒ අතරවාරයේ රජුට පක්‌ෂ රදළ ප්‍රධානියෙක්‌ කැරලිකරුවන් මරා දමමින් නැවතත් අගනුවර තුළ රජුගේ බලය තහවුරු කිරීමට සමත් විය. අවසානයේ පැවැත්වුණු මහනඩුවේදී කැරැල්ලට සම්බන්ධ යෑයි තහවුරු වුණු සියලු දෙනාගේ දේපළ රාජසන්තක කොට හිසගසා මරාදැමීමට නියම කෙරුණු අතර ප්‍රධාන කැරලි නායකයා වූ අඹන්වෙල රාළ දඩුවම් කිරීම සඳහා සිංහල දඩුවම් ප්‍රමාණවත් නොවන හෙයින් දඩුවම් ලබාදීම සදහා ලන්දේසීන් වෙත පිටත් කිරීමට රජු විසින් කටයුතුකොට තිබේ. ( අඹන්වල රාළ පිළිබද තොරතුරු මින් ඉහත ලිපියක දි මෙම බ්ලොග් අඩවියේ සදහන් වේ.)




අලුවිහාරේ මහලු මුදලිගේ මළ සිරුර දැක අධික ශෝකයෙන් රජු හඬා වැළපෙයි


තමන් වෙනුවෙන් දිවි දුන්න ඒ අභිත වීර පුරුෂය සහ විශ්වාසවන්ත සහෘදයාගේ නිසල සිරුර දුටු රජු ශෝකයෙන් වැළපුන බව සදහන් වේ. පසුව රාජ ගෞරව සහිතව අලුවිහාරේ මුදලිගේ දේහය හගුරන්කෙත ගෙඩිගේ පිටියේදී ආදාහනය කොට ගෙඩිගෙයක්‌ බැද වූ බව කියවේ. 


එසේම තමාගේ ජීවිතය ආරක්‌ෂා කිරීම සදහා අලුවිහාරේ මුදලි විසින් සිදුකළ ජීවිත පරිත්‍යාගය අගය කරමින් අලුවිහාරේ මුදලිගේ පුත්‍රයාට අලුවිහාරේ වනිසේකර මුදලි මරණයට පත්වුණු අවස්‌ථාවේ සිටි රජුගේ ඇඳ, එහි තිබූ සලු පිළි, රජුගේ පේරස්‌ මුද්ද ඇතුඵ ආභරණ කිහිපයක්‌, ලංස, කස්‌තාන, තුවක්‌කු කිහිපයක්‌, ගම් බිම් සහ සේවක සේවිකාවන් සන්නසකින් ප්‍රදානය කිරීමට රජතුමා විසින් කටයුතු කරන ලදී.  II රාජසිංහ රජු විසින් පිරිනමා ඇති අලුවිහාරේ සන්නස මෙම පරිත්‍යාගයන්ට පැහැදිලි සාධකයක්‌ වේ.



පෘතුග්‍රිසින්ට එරහිව සටනේ දි ද රජුගේ විශ්වසය දිනා ගත් අලුවිහාරේ මුදලි

ත්‍රිකුණාමලය බලකොටුව අල්ලාගැනීමේ කාර්යයේදී ලබාදුන් දායකත්වය වෙනුවෙන් රජුගෙන් මාතලේ රටේ මහත්තයා තනතුර ලැබූ අලුවිහාරේ වණිසේකර මුදියන්සේ සහ නිල්ලඹේ නුවර රජවාසළේ දුක්‌ගන්නා රාළවරයෙක්‌ ලෙස කටයුතු කළ අලුවිහාරේ වණිසේකර මුදලි එක්‌ අයෙක්‌ ද නැතිනම් දෙදෙනෙක්‌ ද යන්න සොයා බැලිය යුතු වේ.

 ත්‍රිකුණාමලය බලකොටුව අල්ලා ගැනීම සහ නිල්ලඹේ කැරැල්ල සිදුවීම අතර කාලය වසර 20 ක්‌ පමණ වන හෙයින් තරුණ වියේ පසුවූ අලුවිහාරේ වණිසේකර මුදියන්සේ ඒ වන විට වයස අවුරුදු 50 කට ආසන්නව සිටින්නට ඇතැයි අනුමාන කළ හැකි ය. නිල්ලඹේ රජවාසල දුක්‌ගන්නා රාළ ලෙස කටයුතු කළ අලුවිහාරේ මුදලිට "මහළු මුදලි" යන යෙදුම භාවිතකොට ඇත්තේ එනිසා විය යුතු ය. ඒ වන විට රාජධානිය තුළ තමාට එරෙහිව ඇතිවෙමින් පැවති නොසන්සුන් තත්ත්වය හමුවේ අතිශය විශ්වාසී අයෙක්‌ තමා සමීපයේ රඳවා ගැනීමට රජු ගත් තීරණයේ ප්‍රතිඵලයක්‌ ලෙස රජවාසළ දුක්‌ගන්නා රාළවරයෙක්‌ වශයෙන් අලුවිහාරේ වණිසේකර කටයුතු කරන්නට ඇත. 


අලුවිහාරේ වණිසේකර මුදලිගෙන් අනතුරුව රාජ සේවයට එක්‌වුණු ඔහුගේ පුත්‍රයා වූ අලුවිහාරේ වණිසේකර බණ්‌ඩාර ද පියා සේම රජුට පක්‌ෂපාතීව සේවය කළ බව කියවේ.










Comments

Popular posts from this blog

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පොඩි දරුවන්ට කතාන්දර කියා දෙන්න.. හැබැයි මේ ගැනත් දැනගෙනම කතාන්දර කියලා දෙන්න...

කතාන්දර ඇසීමට වැඩිහිටියන්ද , කුඩා දරුවන්ද එක සේ ප්‍රියතාවයක් දක්වති. එහෙත් කතාන්දර කියාදීම වනාහි දරුවන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනයට මනා පිටුවහලක් ලබා දෙන ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙසින්ද පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට රසවත්ව යමක් කියා දෙන්න පුළුවන් එක්තරා ඉගෙන්වීම් රටාවක් ලෙසටද කතාන්දර කීම, කියාදීම හැදින්විය හැකිය. අපි හැමෝම හැදී වැඩුණේ අපේ දෙමව්පියන්, ආච්චිලා සීයලා, නැන්දලා සහ මාමලාගේ කතන්දරවලට සවන් දීමෙනි. මේ කතාන්දර සමහර විට ආදර්ශමත් වේ, සමහර විට අර්ථ විරහිතවේ, සමහර විට සදාචාරාත්මකයි එසේත් නැතිනම් සමහර විට හාස්‍යජනක යි. ඔබට මතකද ඔබ මේ කතන්දරවලට සවන් දෙමින් ඔබේ ළමා අවධිය කොතරම් රසවත්ව භුක්ති වින්දාද යන්න. විටෙක එය කෙතරම් ඉනපුදුමයට පත් කළේ කෙසේද? යන්න ළදරුවෙකු ලෙසින් එදා ඔබට සිතෙන්නට ඇත. අද මෙම ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නට උත්සහා කරන්නේ නිවසේදි තමන්ගේ දරුවාගේ කුසලතාවයන් සංවර්ධනයට දෙමාපියන් වශයෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. මොකක්ද මේ ක්‍රියාකාරකම? අපි අපේ දරුවන්ට කතාන්දරයක් කියා දෙමු……... ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න? දෙමව්පියන් වශයෙන්, ඔබ ඔබේ දරුවා සමඟ කතන්දර පවසමින් කොපමණ කාලයක් ගත කරනවාද? ඇ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...