Skip to main content

උඩරට රජුගේ මුළු තැන්ගෙය සහ ආහාර ගැනීමේ චාරිත්‍ර.



ඩරට රජුගේ රාජ මාළිගයේ රජුට රාජ භෝජන සැකසීම සදහා මුළුතැන් ගෙයක් ද එහි පාලනය සහ කෑම සැකසීම සදහා  කාර්ය මණ්ඩලයක් ද විය. එම කාර්ය මණ්ඩලය මෙසේ ය.
බත් වඩන නිලමේ
මඩප්පු නිලමේ
මඩප්පු රාලවරු
පිහන රලවරු
මාළුකාරයෝ
තටුකොළ පයිණ්ඩකාරයෝ
දෙහි දොඩම්කාරයෝ
දළු මුරකාරයෝ
අගු බලන්නා
දියවඩන නිලමේ
මහ ගබඩා නිලමේ
උඩ ගබඩා නිලමේ
පණිවිඩ කරන නිලමේ
බේත්ගෙයි මුහන්දිරම්

සිංහල රාජධානිය පුරා රජුට අයත් ගම් හා කුඹුරු විය. ඒවා ගබඩා ගම් ලෙසින් හදුන්වනු ලැබිණි. ඒවා පාලනයට ද නිලධාරින් පිරිසක් විය. අවුරුද්දකට වරක් අලුත් සහල් මංගල්‍යට (ජනවාරි මස හා අප්‍රේල් මස) වී වර්ණවත් රෙදිවලින් කරවන ලද වටේ රැළි සහිත බෝඩරයකිව් යුත් මළුවලට පුරවා සෙංකඩගලපුරයට ගෙනවිත් රජුගේ මහ ගබඩාවට භාර දීම ගබඩා ගම් ලිනධාරින්ගේ රාජකාරිය විය. ඒම වී උඩ ගබඩාවේ සහ මහ ගබඩාවේ තැම්පත් කරනු ලබයි. ඉන් පසු එම වී අතවැසියන් ලවා කොටවා - පස්සා - පොළා හාල්කර ගෙනවිත් දිය යුතු වේ මුඛ වාඩම් යොදා ඉදුල් නොවන පරිදි එම කාර්යය සිදු කර යුතු වේ. නිවුඩු ඇටයක් වත් නොතිබෙන පරිදි සහ ගල්, වැලි, හුණු සහල් මැනවින් ඉවත් කර පිරිසුදු කිරීම සිදු කළ යුත විය.
            රාජකීය මුළුතැන් ගෙයට දෛනිකව අවශ්‍ය ද්‍රව්‍ය ගඩබා ගෙවල් දෙකින් ලබා දීමට ගබඩා නිලමේවරුන් විසින් කටයුතු යොදයි. එහිදි එම ද්‍රව්‍ය කිරීම,මැනීම ආදිය නිලමේවරුන් විසින් අතවැසියන් ලවා සටහන් තබාගෙන සිදු කරනු ලබයි. බේත් ගෙයි මුහන්දිරම් දිනපතා කිහිපවරත් රජුගේ ‍සෞඛ්‍ය තත්ත්වය මැනවින් පරික්සනු ලබන අතර රජුට ඒ ඒ වේලාවන්ට සුදුසු ආහාර ව්‍යංජන නියම කිරීම ඔහුගේ තවත් එක් කාර්යයක් වේ. මහ වාසලේ ව්‍යාංජන සදහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සදහා මාළුකාරයින් විස්සකට අධික පිරිසක් දෛනිකව රාජකාරි සිදු කරනු ලබන්නේ ය. මාසයේ දින වෙන් කරගන ඔවුන් එම සේවාවන් ඉටු කරනු ලබයි. රටේ කුමන ප්‍රදේශයක තිබුන ද කිසිවෙකුගේ අවසරයක් නොමැතිව ඒවා ලබා ගැනීමේ හැකියාව සහ අවසරය මෙම මාළුකාරයන් හට විය. එහෙත් සාංඝිග දේපල සහ දේවලයන් සතු දෙයින් එසේ ලබා ගැනීම ඔවුන්ට තහනම් විය.
            පිහන රාළවරු සූපවේදය මැනවින් දත් පිරිසයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්ය වුයේ රාජකීය මුළුතැන් ගෙහි රජු උදෙසා ආහාර පිසිමයි. මුඛවාඩම් බැද, උඩු වියන් බැද ආහාර පිසීම කරනු ලබන්නේ ඒවා කිසිවක් ඉදුල් නොවන පරිද්දෙන් ය. තඹ, පිත්තල භාජන ආහාර පිසීමට පෙර මුළුතැන් ගෙයි අතවැසියන් විසින් කැඩපතක් මෙන් දීප්තියක් ගෙන දෙන පරිදි පිරිසිදු කර දිය යුතුයි. මුළුතැන් සියළු ක්‍රියාවන් පිහන රාළලා යටතේ සිදු විය යුතු වේ.
            භෝජන මන්දිරයේ තිබෙන රාජ භෝජන වැලදු මණ්ඩය, අතට පැන වැඩ කෙණ්ඩිය, පැන් පාලනය කළ පුකුරුව, පැන් පිළිගන්වන තුලාව, පිගන්, කුසලාන,තලි, හැදි, ආදි සයල්ල රනින් හා රිදියෙන් කළ ඒවා ය. සෑම එකක්ම වරක් ප්‍රයෝජනයට ගෙන නැවත් පිරිසුදු කළ යුතු වේ.
            සම්බා බත් රජුගේ ප්‍රියතම ආහාරය වේ. රජුගේ ආහාර වේලකට ව්‍යංජන 60කට අඩු හෝ 30 වැඩි ප්‍රමාණයකින් සමන්විත විය යුතු විය. මැල්ලුම්, හොදි, නියඹලා, ආතන්, ඇඹුල්, තෙල් දුවපු මාළු, තෙම්පරාදු ව්‍යංජන, මස්, මාංශ, බැදුම්, ලුණු දෙහි අච්චාරු ආදියෙන් සමන්විත වේ.
            මෙම බත් ව්‍යංජන මඩප්පු රාළ විසින් රන් රිදි බදුන්වල දමා රජ මැදුරට ගෙන යයි. මඩප්පු රාළ නා පිරිසිදු වී පිරිසිදු ඇදුම් ඇද මුකවාඩම් බැද කාර්යයේ නිරත විය යුතු වේ. භෝජන මන්දිරය උඩු වියන් බැද මලින් සරසා දවසකට වරක් සුවද දුම් අල්ලා සුවදවත් කළ යුතු ය. රජතුමා භෝජන මන්දිරයේ එක් පසකින් බිමින් අගල් 7 පමණ උස්ව තනා තිබෙන ආසනයක එරමිණිය ගොතා වාඩි වී ආහාර ගත්තේ ය. ආසනය පරික්ෂාව සහ සැකසීම මඩප්පු රාළ ගේ කාර්යයක් විය.
            අගු බලන්නා විසින් රජුට ආහාර පිළි ගැන්වීමට ප්‍රථම එම ආහාර සුළු වශයෙන් ආහාරයට ගෙන පරික්ෂා කර ඒවා වසින විසෙන් තොර බව ප්‍රක්‍යක්ෂ කර ගත යුතු වේ. ඉන් පසු බත් වඩන නිලමේ විසින් රජුට භෝඩනය සදහා ආරාධන කරනු ලබන්නේ ය.
            රජු ආහාරය සදහා රන් දෝලිය (අග බිසව) රිදි දෝලිය ( වෙනත් බිසවක්) සමග පැමිණ අසුන් ගනු ලබයි. දියවඩන නිළමේ විසින් පෙරන ලද ජලය සහිත රන් කෙණ්ඩිය හා පුකුරුව දී මුඛය හා දෙ අත් සේදීමට සලස්වයි. පුකුරුවේ ජලයෙන් මුඛයත්, රන් කෙන්ඩියේ ජලයෙන් දෙ අත් ද සෝදා ගනි. කිලිටි වතුර පඩික්කමට බහාලනු ලබයි.
            රජු උකුලේ ඉදුල්කඩ එලා ගත් පසු බත් වඩන නිලමේ රන් මණ්ඩයෙහි - කෙසෙල් කොළයක් එළා රජුට පිළිගන්වනු ලබයි. රන් හැන්දෙන් එක් බත් පිඩක් ද එක් ව්‍යාංජනයක් ද පිළිගන්වයි. එය වළදා අවසන් වු පසු රඹපත ඉවත්කොට මුඛය හා අත සේදිමට සලස්වයි. ඉන් පසු නැවත් බත් පිඩුවක් හා ව්‍යංජනයක් බෙදයි. ඒ සදහා අලුත් කෙසෙල් කොළයක් එළිය යුතු වේ. එය වැළදු පසු නැවත මුඛය සහ දෙ අත් සේදවිය යුතු වේ. මෙසේ රජු වලදා අවසන් වන තුරුම රඹපත් එළමින් අත සහ කට සේදීමට ජලය පිළිගැන්විය යුතුය.
            බත්වල මෙන්ම ව්‍යංජනයන්ගේ ද රස එකින් එකෙට වෙනස් විය යුතු ය. දිවා රාත්‍රි ආහාර වේලට රඹපත් සැපයීම තටුකොළ පයින්ඩකාරයන් විසින් කළ යුතුය. ආහාර වේලකට රඹපත් එකසිය විස්සක් අවශ්‍ය වේ.
            බත් හා ව්‍යංජන අනුභවයෙන් පසු හීනටි හාලේ බත හා කිරි පැණි අනුභව කරයි. ගව පට්ටියේ මුහන්දිරම් ඒවා සපයනු ලබයි. කිරි පැණි, දී කිරි, මී කිරි, ගිතෙල්, වෙඩරු,පස්ගෝරස පිළිගැන්විය යුතු ය. ඊට පසු රස කැවිලි දඅනුභව කරයි. රස කැවිලි වර්ග පනහකට අධික සංඛ්‍යාවක් තිබිය යුතු වේ.
            ඉන් පසු පළතුරු වළදනු ලබයි. දෙහි දොඩම් කාරයෝ ඒවා වාසලට සපයනු ලබයි. බෙහෙත් ගේ මුහන්දිරම්ගේ උපදෙස් මත රජුගේ ආහාර අනුව ඒවා ජීර්ණයට අවශ්‍ය පළතුරු සැපයී ය යුතු වේ. සිංහල රජවරැන් කිසිවිටකත් මත් පැන් පානය නොකළ බව සදහන් වේ.
            ආහාර කිස නිම වීමත් සමග පණිවිඩ කරන නිලමේ විසින් දලු මුර රන්මය භාජනයක තබා රජුට පිළිගන්වයි. බුලත්, පුවක්, කරුංගා, ජලයේ දැමු කරුංගා, එනසාල්, අරළු, කසට වැල්, කරදමුංගු, කරාබු නැටි, කුරුදු පොතු මෙයට ඇතුලත් වේ. මේ වර්ග සැපීමෙන් දත් නොදිරවීම ද මුඛයේ දුගද නෙමැති වීම ද සිදුවන බව සිංහලයන්ගේ විශ්වසය යි.
            රජු භෝජන වලදන විට බත් වඩන නිලමේට පමණක් රජුට පෙනෙන පරිදි සිටිය හැක. රජු බිසවක් අතින් කෑම බෙදා ගැනීමට කැමති විට බත් වඩන නිලමේ ඉවත් වඇයට ඉඩ දේ. රජු ආහාර අනුභව කර අවසන් වන තුරු සුවද දුමින් සුවද කිරීම ද සත්සර වීනා නාදය නාද කිරීම ද කළ යුතු වේ.


Comments

Post a Comment

Popular posts from this blog

මහාවංසය

මහාවංසය පුරාතන සිංහලයන් අතර ඓතිහාසික චින්තනය, පාලි පිටක ග්‍රන්ථවලට සිංහල අටුවා සැපයීම හා සම්බන්ධව සාහිත්‍යමය ලේඛන බිහි කිරීමට දරන ලද ආදිතම ප්‍රයත්නයන් තරමටම පැරැණි වේ. දැනට ශේෂව නොමැති මේ ඓතිහාසික ලේඛන ගැන අපට දැන ගන්නට ලැබෙන්නේ පශ්චාත්කාලීන කෘතිවල ඒවා ගැන සදහන්ව තිබෙන සදහන් මගින් ය. එසේ වුවත් මෙම ලේඛනවල අන්තර්ගත වු බොහෝමයක් කරුණු පාලි වංශ කතාවල සුරැකිව රැකී ඇත. පරම්පරානුගත ඉතිහාසය ලිවීමට දරන ලද ප්‍රයන්ත අතර දැනට විද්‍යාමාන ආදිතම ග්‍රන්ථය දීපවංසයයි. පසුව වැඩි කල් නොගොස් ම තවත් වංශකථාවක් වු මහාවංසය රචනා කරනා ලදි. මෙයටද විෂය වුයේ දීපවංශයට විෂය වු කාල පරිච්ඡේදයම වේ. මහාවංසය යනු දිවයිනේ   ප්‍රධානතම වංශකතාවයි. මුල් වරටට ක්‍රි.ව හය වැනි සියවසේදි රචිත මෙයට වරින් වර ඒ ඒ වකවානුව දක්වා ඉතිහාසය අලුතින් එක් කරන ලදි. මෙම වංශකථාවට අඛණ්ඩ ස්වරූපයක් මෙයින් එකතු වේ. චූලවංසය යනුවෙන් මෙයින් පසු කොටස් හැදින් වුවද මේ වු කලි එහි කර්තෘන් එයට යෙදීමට අපේක්ෂා කල නාමය නොවේ. ක්‍රි.පු පස්වැනි සියවසේ සිට 1815 වර්ෂයේ උඩරට රාජධානිය යටත් කර ගැනීම දක්වා වු ශත වර්ෂ 20 කට අධික කාලයක ඉතිහාසය මෙයට ඇතුළත් වේ.

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...