Skip to main content

උඩරට රාජධානිය සහ එහි පරිපාලනය.


උඩරට රාජධානිය සහ එහි පරිපාලනය.
උඩරට රාජධානිය යනුවෙන් හැදින්වෙනුයේ 1590 දි ලංකාවේ මධ්‍යම කදුකරය කේන්ද්‍ර කර ගනිමින් පළමු වන විමලධර්මසුරිය රජු විසින් ආරම්බ කරන ලද රාජධානියයි. නමුත් එයට පෙර අවස්ථා ගණනාවකිදීම උඩරට පාලන ඒකකයක්, පරිපාලන එකකයක් වශයෙන් පැවතුන බවට තොරතුරු හමුවේ. එසේම පුර්ව බ්‍රහ්මීය ශිලා ලේඛනයන්ගේ ව්‍යාප්තිය දෙස බලන විට මධ්‍යම කදුකරය ආශ්‍රීතව  ස්ථාන 24 කින් අභිලේඛන 84 ක් පමණ සොයා ගන තිබේ. යටත් පිරිසෙන් මෙම අවධියේදි මධ්‍යම කදුකරය ආශ්‍රිතව ස්වාධින පරිපාලන ඒකක පැවති බව මෙම අභිලේඛනවල සදහන් රජ, පරුමක යන විරුදයන් දෙස බලන විට පැහැදිලි වන කාරණයකි. මලය රට, මලය රට්ට, ගල්වල රට යනුවෙන් එකල්හි මධ්‍යම ප්‍රදේශය ඇතුලත්වන කදුකරය හදුන්වා තිබේ. අනුරාධපුර, පොළොන්නරු, රාජධානි අවධීන්හිදි ප්‍රාදේශිය පරිපාලන ප්‍රදේශයක් වශයෙන් පාලකයකු යටතේ පාලනය වු බවට බොහො තොරතුරු මුලාශ්‍රයන්හි සදහන් වේ. ඉන් පසු ගම්පොල රාජධානිය ලෙසින් දාහතරවන සියවසහිදි මධ්‍යම කදුකරය පළමුවරට රාජධානි කේන්ද්‍රය බවට පත් වන්නේ ය. ඉන් පසු කෝට්ටේ රාජධානියේ හිමිකාරිත්වය පෘතුගීසින් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව 1590 සිට 1815 දක්වා රජවරුන් 9 දෙදෙකු යටතේ පාලනය වු උඩරට රාජධානිය 1815 වර්ෂයෙදි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විය.
            උඩරට රාජධානිය සිංහල රජවරුන් විසින් පාලනය කරන ලද අවධියේදි  පාලනයේ පහසුව සදහා උඩරට ප්‍රදේශ දිසාවනි සහ රට වසම යනුවෙන් පරිපාලන ඒකක 21කට බෙදා තිබුණි. දිසාවනි ප්‍රමාණයෙන් 12 ක් වු අතර රට වසම් ප්‍රමාණයෙන් 9 යකි.
උඩරට දිසාවනි දොළස මෙසේ ය.
නුවර කලාවිය
සත් කෝරළේ
හතර කෝරළේ
තුන් කෝරළේ
සබරගමුව
ඌව
වෙල්ලස්ස
බින්තැන්න
තමනුකඩුව
මාතලේ
වලපනේ
උඩ පළාත

උඩරට රට වසම් නවය මෙසේ ය.

දුම්බර
හාරිස්පත්තුව
තුම්පනේ
යටිනුවර
 උඩුනුවර
කොත්මලේ
හේවාහැට
උඩබුලත්ගම
පාතබුලත්ගම

උඩරට පරිපාලන නිලධාරින්
උඩරට රාජධානියේ අසාහය නායකයා වුයේ රජු ය. රජුගේ බලය රාජධානිය තුල උත්තරිතර විය. රජුට පසුව උඩරට රාජධානියේ ප්‍රධාන නිලධාරියන් වුයේ අධිකාරම් දෙපලය. ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනා වුයේ ද මොවුන් දෙදෙනාය. පසුව අවසාන රජ වු ශ්‍රි වික්‍රමරාජසිංහ රජුගේ කාලයේ දි සියපත්තුවේ අධිකාරම් යනුවෙන් තුන්වෙනි අධිකාරම් තනතුරක් ඇති කරන ලදි. ඒ අනුව

පල්ලේගම්පහ අධිකාරම මහඅධිකාරම් ලෙසට විය.
උඩගම්පහ අදිකාරම දෙවන අධිකාරම ලෙසට විය.
සියපත්තුවේ අධිකාරම තුන්වන අධිකාරම ලෙසට විය.

පල්ලෙගම්පහ සහ උඩගම්පහ යන අධිකාරම හට හිමි වු බලතල එක හා සමාන වු අතර සෑම විටම පල්ලෙගම්පහ අධිකාරම මහඅධිකාරම ලෙසට පත් විය.
අධිකාරම්වරුන්ට අමතරට දිසාව සහ රට වසම පාලනය සදහා දිසාවේවරුන් සහ රමේ මහත්වරුන් රජතුමා විසින් පත් කරන තිබුණි. දිසාවක් ලෙසින් හැදින්වෙන පරිපාලන ප්‍රදේශයේ පාලකයා දිසාවේවරයෙකු නමින් හැදින් වේ. දිසාවේවරයාට තම බල පෙදෙසේ අධිකරණ සහ විධායක බලතල හිමි විය. රජතුමන් හිමි විය යුතු බදු මුදල් රැස්කර මහනුවර භාණ්ඩාගාරයට යැවීමේ වගකීම හිමි වුයේ දිසාවේවරයාටය. බල ප්‍රදේශයේ මං මාවත් තැනවීම, අළුත් වැඩියාව, පැන නගින්නා වු නඩු ආරවුල් විසදීම ආදි කයටුතු රාශියක් දිසාවේවරයාට නිල බලයෙන් හිමි විය. දිසාවේවරයෙකු පත් කරන ලද්දේ රජතුමන් විසින් වේ. පත් කිරීම වසරක් සදහා වේ. තනතුර දැරීමම වෙනුවෙන් දිසාවේවරයා වාර්ෂිකව රජුට මුදලක් ගෙවිය යුතු වේ. රජු විසින් දිසාවේවරයෙකු පත් කරන විට ඔහුට ඇතෙකු හෝ අශ්වයෙකු තෑගි කිරීම සාමාන්‍ය සිරිත වේ.
            මහනුවර තදාසන්නව පිහිටි කුඩා කොට්ඨාෂ හදුන්වනු ලබන්නේ රට වසම යනුවෙන් ය. සාමාන්‍ය ව්‍යවහාරයේදි රට වසමක පාලන බලය හිමිවු තැනැත්තා රටේ මහත්තයා යනුවෙන් හැදින්වූවද රාජ සභාවේදි රටේ රාළ යනුවෙන් ඔහුව හදුන්වන ලදි. රටේ රාළලාගේ සේවාව දිසාවේවරයෙකු රාජකාරියට සමාන වුව ද දිසාවේවරුන්ට වඩා වගකීමෙන් අඩු පිරිසක් විය. සෘජුවම රජුව විසින් පත් කරන නිලධාරින් පිරිසක් වු හෙයින් දිසාවේවරුන්ට යටත් නිලධාරින් පිරිසක් ද නොවිය. රට වසමක සිවිල් නඩු විසදීමෙහි බලය හිමි වුයේ රටේ මහත්වරුන්ටම විය.

දිසාවනියක ප්‍රධානියා හැදින්වු ආකාරය.
ඌව මහදිසාවේ
මාතලේ මහදිසාවේ                                 
සත් කෝරළේ මහදිසාවේ                      
හතර කෝරළේ මහදිසාවේ
තුන් කෝරළේ දිසාවේ
සබරගමුව දිසාවේ
වෙල්ලස්ස දිසාවේ
බින්තැන්න දිසාවේ
තමනුකඩුව දිසාවේ
වලපනේ දිසාවේ
උඩ පළාත දිසාවේ
නුවර කලාවිය දිසාවේ

දිසාවනියක ප්‍රධානියා හැදින්වු ආකාරය.
දුම්බර රටේ මහත්තයා
හාරිස්පත්තුව රටේ මහත්තයා
තුම්පනේ රටේ මහත්තයා
යටිනුවර රටේ මහත්තයා
 උඩුනුවර රටේ මහත්තයා
කොත්මලේ රටේ මහත්තයා
හේවාහැට රටේ මහත්තයා
උඩබුලත්ගම රටේ මහත්තයා
පාතබුලත්ගම රටේ මහත්තයා


මෙම සෑම තනතුරකටම පත් වුයේ උඩරට රදළ ප්‍රධානීන් ය. ඔවුන් උඩරට පළමු පෙල රදළ පවුල්වලින් සමන්විත විය. මෙම තත්ත්වය උඩරට පාලන බලය හිමි කරගත් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ද මුල් කාලයේ පවත්වාගෙන ගිය අතර ඉන් ඔවුන් බලාපොරොත්තු වුයේ ඔවුන්ගේ පාලය සදහා උඩරට රදළ ප්‍රධානීන්ගේ සහයෝගය ලබා ගැනීමයි.

අධිකාරම්වරුන්ට හිමි අධිකරණ බලය

බලය අතින් රජු ළඟට අවරෝහණව සිටි බලධාරීන් වූ අධිකාරම්වරු ඔවුන්ගේ විශේෂ අධිකාරියට යටත් වන සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් රජුගේ සම්පූර්ණ බලයට පමණක්‌ යටත් වන විශාල අධිකරණ බලයක හිමිකරුවන් විය. "මහ නිලධාරි" යන ගෞරවාර්ථ පදයෙන් හඳුන්වනු ලැබූ අදිකාරම්වරු රජුගේ සහ උඩරට රාජධානියේ ප්‍රධාන අමාත්‍යවරු ද වූහ.

පොදුවේ තම බලයට යටත් වූ පළාතේ වැසියන් සම්බන්ධයෙන් අනෙක්‌ ප්‍රධානීන් සමඟ එකට පාවිච්චි කළ යුතු අධිකරණ බලයක්‌ ලෙස ඔවුන්ගේ බලය විග්‍රහ වූ අතර එම නිසාම ඔවුන් විසින් මෙම බලය පාවිච්චි කරන ලද්දේ අදාළ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පමණි.

සිය බලසීමාව තුළ වූ පුළුල් බලතල අතර ආදායම්, පරිපාලන, යුද, අධිකරණ හා පොලිස්‌ රාජකාරි යනාදී වශයෙන් වූ බලතල ප්‍රමුඛව විග්‍රහ කොට ගත් අදිකාරම්වරු ඉන් සිය බලසීමාව තුළ වූ යුක්‌තිය පසිඳලීමේ බලය එනම් අධිකරණ බලය අනන්‍යව භුක්‌ති විඳින ලද බව කියෑවෙයි. සියලුම සිවිල් නඩු විභාග කළ හැකි වූ නමුත් රාජකීය හෝ දුක්‌ගන්නා ඉඩම්වලට බලපාන නඩු (විත්තිකරු අසතුටට පත්වූයේ නම්) විභාග කළ නොහැකි විය. පහරදීම, සොරකම හා මංකොල්ලය ඇතුළු සියලුම අපරාධ විනිශ්චය කිරීමේ බලය අධිකාරම්වරුන්ට පවරා දුන් නමුත් මරණ දඬුවම පැමිණවිය හැකි වූයේ රජුට පමණක්‌ බැවින් ඔවුන්ට දරුණු අපරාධ විනිශ්චය කළ නොහැකි විය.

යුක්‌තිය පසිඳලීමේ කාර්යයේදී අදිකාරම්වරු කෙතරම් දුරට ඵලදායි වූයේද යන්න අවිනිශ්චිතය. උඩරට රාජධානියේ බ්‍රිතාන්‍ය පාලනය ස්‌ථාපිත කිරීමෙන් පසු ප්‍රථම නේවාසික නිලධාරියා වූ හා උඩරට සිරිත් හා ආයතන පිළිබඳ යම් ඵලදායී දැනුම් මට්‌ටමකින් හා අවබෝධයකින් සිටි ශ්‍රීමත් ජෝන් ඩොයිලි පවසා ඇත්තේ අදිකාරම්වරු හා අනෙකුත් ඉහළ තනතුරු දැරූ දිසාවේ වැනි රාජකීය නිලධාරීන් රාජධානියේ ඉහළ පවුල්වලින් පත්කරනු ලැබූ හෙයින් ඔවුන්ට ජනයා අතර යුක්‌තිය මනා ලෙස පසිඳලීම සම්බන්ධයෙන් අත්දැකීම හා හැකියාව නොතිබූ බවයි. මේ සම්බන්ධයෙන් නොක්‌ස්‌ වැනි අන්‍යයන් විසින් ද අදහස්‌ දක්‌වා තිබේ. මහනුවර අවසන් රජුගේ කාලයේදී අත්තනෝමතික ක්‍රියා සිදු වූ බැව් හා විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධයෙන් නිරාකරණය නොකරන ලද නඩු ගොඩ ගැසී තිබුණු බව ද යන කාරණය මෙහිදී වැදගත් වේ. කරුණු එසේ දැක්‌වුණද ඩොයිලි වැනි ඉංග්‍රීසි නිරීක්‍ෂකයින් විසින් සිංහල ඉහළ නිලධාරීන් වෙත ආරෝපණය කරන ලද අඩුපාඩුකම් හේතුවෙන් යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාදාමය මනාව ක්‍රියාත්මක නොවීමක්‌ සම්බන්ධයෙන් සාක්‍ෂි නොමැති බව කීමට පුළුවන.

දිසාවේවරුන්ට හිමි වු අධිකරණ බලය

දිසාවේ යනු උඩරට රාජධානිය බෙදා වෙන්කරන ලද දිසාවනී හෙවත් පළාත් වශයෙන් හැඳින්වූ ප්‍රධාන කොට්‌ඨාස දොළහේ ආණ්‌ඩුකාරවරු වූහ. සිය පළාත තුළ දිසාවේට ආදායම්, පරිපාලන, හමුදා සහ අධිකරණ බලතල තිබූ අතර නිල ධුරාවලිය තුළ ඔවුහු අධිකාරම්වරුන්ට දෙවැනි වූහ.

රජ මාලිගයට හෝ වෙනත් ප්‍රධානියකුගේ අංශයකට සම්බන්ධ අය හැර තම ප්‍රදේශයේ හෝ දිසාවේ වූ සියලුම පුද්ගලයන් සම්බන්ධයෙන් වූ මොවුන්ගේ උක්‌ත බලතල සමඟ අසීමිත සිවිල් අධිකරණ, බලයක්‌ තිබූ බව මෙහිදී නිරීක්‍ෂණය කිරීමට පුළුවන. මොවුනට අත්සන් කළ තීන්දු ප්‍රකාශ කිරීමට හැකිවිය. රජමාලිගයේ හා තානාන්තර ප්‍රධානීන් සම්බන්ධ ආරවුල් හා බරපතල අපරාධ හැරුණු කොට අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අධිකරණ බලය තිබූ ඔවුහු වරදකරුවන්ට දඩ ගැසීම, සිරභාරයට ගැනීම, කසය, කෝටුව වැනි විවිධ ද්‍රව්‍ය පාවිච්චි කරමින් ශාරීරික දඬුවම් පැමිණවීම වැනි නෛතික විග්‍රහයන් සිදුකළ අතර දඬුවම් ලබාදීමේදී උසස්‌ හා පහත් ලෙස සඳහන් වූ කුලවල මිනිසුන් අතර වෙනසක්‌ දැක්‌වීමේ ව්‍යාතිරේඛයට යටත් වූහ. දිසාවේ වංශවත් හා උසස්‌ නිලධාරීන්ට ශාරීරික දඬුවම් පැමිණවූයේ නැත.

සාමාන්‍යයෙන් දිසාවේ විසින්ම නඩු විභාග කරන නමුත් ප්‍රධාන ගම්මුලාදෑනිගේ සහභාගිත්වය සහ අදහස්‌ විමසීම මෙහිදී අපේක්‍ෂිත විය. එමෙන්ම පසු කාලයේදී ප්‍රධාන මොහොට්‌ටාලවරු හෝ කෝරාලවරු දෙදෙනකුට හෝ තුන්දෙනකුට පරීක්‍ෂණ පැවැත්වීමට භාර කරනු ලැබූ බව ද දැක්‌වේ.

මහා මුහන්දිරම්වරු, රටේ මහත්වරු, ලේකම්වරු, ප්‍රධාන උඩරට ප්‍රධානීන්ට හිමි වු අධිකරණ බලය

මහා මුහන්දිරම්වරුන්ට, රටේ මහත්වරුන්ට, ලේකම්වරුන්ට, පන්සල්වල ප්‍රධානීන්ට හා රජ මාලිගයට හා ගෘහයට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්ට තම පාලනයට යටත් වූ සියලුම අයවළුන් සම්බන්ධයෙන් අපරාධ හා සිවිල් බලතල තිබුණි. මෙම සිවිල් බලතල සීමා රහිත බලතල ලෙස විග්‍රහ වුවද අත්සන් කළ තීන්දු ප්‍රකාශ හෝ දිවි සීට්‌ටු දීම හෝ මහනුවරදී දිවුරුම් ගැනීම, ඔවුනට කළ නොහැකි විය. දරුණු අපරාධ හැරුණු විට අනෙකුත් සියලු අපරාධ විභාග කිරීමට ඔවුනට හැකි වූ අතර වරදකරුගේ නිලය සහ තත්ත්වය අනුව ශාරීරික දඬුවම් පමුණුවා තිබේ. කෙසේ වුවද කෝරාලවරු, ආරච්චිවරු හා පන්සල්වල ප්‍රධාන නිලධාරීන් ශාරීරික දඬුවම්වලට ලක්‌කරන ලද්දේ ඉතා කලාතුරකින් බව පෙනේ.






ඡායාරූප උපුටා ගැනීම රැල්ෆ් පීරිස් මහතාගේ සිංහල සමාජ සංවිධාන කෘතියෙනි.

Comments

Post a Comment

Popular posts from this blog

සිගිති පොළ දරුවටම ලබා දෙමු

සිගිති පොළ දරුවන්ම ලබා දෙමු වර්ථමානයේ පෙර පාසල් ආශ්‍රිත ක්‍රියාකාරකම් අතර බොහෝ පෙර පාසල්වල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන ජනප්‍රිය අංගයකි සිගිති පොළ. සිගිති පොළ දිනය යනු එම පෙර පාසලේ දරු සිගිත්තන් පුංචි මුදලාලිලා වෙලා ගෙදරින් ගෙන එන බඩු කෑගසමින් විකුණන දවසකි. එදාට දරුවන්ගේ අම්මලා, තාත්තලා, අච්චිලා, සීයලා, නැන්නදලා, මාමාලා, බඩු ගන්න, කෙවල් කරන්න පොර කනවා දැක ගන්නට පුළුවන් . ඒ වගේම ආරධිත අමුත්තන් විදියට මැති ඇමතිවරු, නිලධාරින්, ආගමික නායකයින් පැමිණ හර බර කතාද පවත්වා දරුවන්ගෙන් බඩු ද මිලට ගනු ලබයි. එසේම බොහෝ පෙර පාසල්වලට මේ දවසට අනුග්‍රහය දක්වන්න  බැංකු සහ මූල්‍ය ආයතනද එක්වනු දැක ගත හැකි වේ. ඒ වගේම මෙම සිගිති පොළ දවසේදි දරුවෝ මුදලාලි විදියට හිටියට   වෙළදාමේ යෙදෙන්නේ අම්මලා, ආච්චිලා ය. දරුවෝ ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගන. දැන් අපි බලමු ඇත්තටම පෙර පාසලක සිගිති පොලක් පවත්වන්නේ ඇයි කියලා. සිගිති පොළක් පවත්වන්නේ පෙර පාසල් ක්‍රියාකාරකම් සංග්‍රහය තුල සදහන්වන දරුවන් තුල වර්ධනය විය යුතු නිපුණතාවයන් සංවර්ධනයට යොදා ගන්නා ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙනි. උ...

පොඩි දරුවන්ට කතාන්දර කියා දෙන්න.. හැබැයි මේ ගැනත් දැනගෙනම කතාන්දර කියලා දෙන්න...

කතාන්දර ඇසීමට වැඩිහිටියන්ද , කුඩා දරුවන්ද එක සේ ප්‍රියතාවයක් දක්වති. එහෙත් කතාන්දර කියාදීම වනාහි දරුවන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනයට මනා පිටුවහලක් ලබා දෙන ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙසින්ද පෙන්වා දෙන්න පුළුවන්. දරුවන්ට රසවත්ව යමක් කියා දෙන්න පුළුවන් එක්තරා ඉගෙන්වීම් රටාවක් ලෙසටද කතාන්දර කීම, කියාදීම හැදින්විය හැකිය. අපි හැමෝම හැදී වැඩුණේ අපේ දෙමව්පියන්, ආච්චිලා සීයලා, නැන්දලා සහ මාමලාගේ කතන්දරවලට සවන් දීමෙනි. මේ කතාන්දර සමහර විට ආදර්ශමත් වේ, සමහර විට අර්ථ විරහිතවේ, සමහර විට සදාචාරාත්මකයි එසේත් නැතිනම් සමහර විට හාස්‍යජනක යි. ඔබට මතකද ඔබ මේ කතන්දරවලට සවන් දෙමින් ඔබේ ළමා අවධිය කොතරම් රසවත්ව භුක්ති වින්දාද යන්න. විටෙක එය කෙතරම් ඉනපුදුමයට පත් කළේ කෙසේද? යන්න ළදරුවෙකු ලෙසින් එදා ඔබට සිතෙන්නට ඇත. අද මෙම ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නට උත්සහා කරන්නේ නිවසේදි තමන්ගේ දරුවාගේ කුසලතාවයන් සංවර්ධනයට දෙමාපියන් වශයෙන් සිදු කළ හැකි ක්‍රියාකාරකමකි. මොකක්ද මේ ක්‍රියාකාරකම? අපි අපේ දරුවන්ට කතාන්දරයක් කියා දෙමු……... ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න? දෙමව්පියන් වශයෙන්, ඔබ ඔබේ දරුවා සමඟ කතන්දර පවසමින් කොපමණ කාලයක් ගත කරනවාද? ඇ...

පෙර පාසල් දරුවාගේ අධ්‍යාපනික වගකීම පෙර පසලට විතරමද.

පෙර පාසලකට පැමිණෙන දරුවා එහි රැදි සිටින්නේ පැය තුනක් හෝ හතරක් පමණි. නමුත් මෙම පැය තුන හෝ හතර තුලදි බොහෝ දෙමාපියන් විශාල දැනුමක් තම දරුවාට පෙර පාසල තුලින් බලාපොරොත්තු වෙති. ලියන්න, කියවන්න, ගණන් හදන්න, චතුර ලෙස ඉංග්‍රිසි කතා කිරීම ආදිය පෙර පාසල් දරුවෙකු තුලින් බලාපොරොත්තු වීම සැබැවින්ම සාධාරණදැයි විමසා බැලිය යුතු වේ.                උදාහරණයක් විදියට ගතහොත් උපතේ සිට දරුවා අත්පත් කරගන්නා අත්දැකීම් තමයි පසුකාලීනව දරුවාගේ ජීවිතයේ ශක්තිය හෝ දුර්වලතාවයන් වන්නේ. එම නිසා බොහොමත් කල්පනාවෙන් පෙර පාසල් වයසේ දරුවන්ගේ නිපුණතාවයන් සංවර්ධන ක්‍රියාවලිය ඉටු කළ යුතු වේ.             මේ සඳහා පෙර පාසල් ගුරුවරියට පමණක් තනි වගකීමක් පැවරීම සුදුසු නොවේ. දවසේ පැය 24 න් දරුවා පෙර පාසලේ පැය 4 ක් ගත කරනවා නම්, ඉතුරු පැය 20 ගත කරන්නේ නිවෙස්වලයි. එබැවින් මෙම ස්ථාන දෙකෙන්ම දරුවන් ලබා ගන්නා අත්දැකීම් මත දරුවාගේ ඉගෙනුමේ ගුනාත්මකභාවය රදා පවතිනු ලබයි.                 මෙහිදි දරුවගේ ඉගෙනුම් ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට දෙමාපියන් පත් කර ගැනීමේ පියවරය තැබිය යුත්තේ පෙර පාසල් ගුරුතුමිය විසින්ම වේ.               මුල් ළමාවිය අධ්‍...